ආර්ය අෂ්ටාංගික මාර්ගය

පටුන

ස්වාමීන් වහන්ස ගිහි පින්වතුන්වන අපි නම් ධර්ම මාර්ගයට අවතිර්ණ වන්නේ කෙසේද? කියවන්න
ස්වාමීන් වහන්ස ඔබ වහන්නසේ සඳහන් කළා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීමේදී අනිවාර්යයෙන්ම සම්මා දිට්ඨිය නැමැති දොරටුවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසිය යුතුය කියලා. ස්වාමීන් වහන්ස සම්මා දිට්ඨියට අප පිවිසෙන්නේ කුමන දොරටුවෙන් ද? කියවන්න
ස්වාමීන් වහන්ස, සම්මා දිට්ඨිය සකස්කොටගත් පින්වතා තුළ, දකින්න පූළුවන් මුලික ලක්ෂණ මොනවා ද? කියවන්න
ස්වාමීන් වහන්ස සම්මා දිට්ඨියේත්, ලෝකෝත්තර සම්මා දිට්ඨියේත් වෙනස කුමක් ද? කියවන්න
ස්වාමීන් වහන්ස සම්මා දිට්ඨිය පරිපූර්ණ වූ තැනදී කුමක් ද සිද්ධ වෙන්නේ? කියවන්න
ස්වාමීන් වහන්ස සම්මා සාංකප්පයක්, ලෝකෝත්තර සම්මා සාංකප්පයක් බවට පත්කරගන්නේ කෙසේද? කියවන්න
ස්වාමීන් වහන්ස සම්මා දිට්ඨියෙත් සම්මා සංකප්පයන්ගේත් වැඩීම හේතුවෙත් කුමක්ද ශක්තිමත් වෙන්නෙ? කියවන්න
ස්වාමීන් වහන්ස සම්මා වාචා, ලෝකෝත්තර සම්මා වාචාව බවට පත් කෙ ගන්නේ කෙසේද? කියවන්න
ස්වාමීන් වහන්ස සම්මා කම්මන්ත සම්මා අජීව කියන අංග දෙක පහදා දෙන්න? කියවන්න
ස්වාමීන් වහන්ස සම්මා කම්මන්ත සහ සම්මා ආජීව කියන අාංගයන් ලෝකෝත්තර සම්මා කම්මන්තයන්ව බවට ලෝකෝත්තර සම්මා අජීවයන් බවට පත්කරගන්නේ කෙසේද? කියවන්න
ස්වාමීන් වහන්ස ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාල සම්මා වායාම මාර්ග අාංගය පහදා දෙන්න. කියවන්න
ස්වාමීන් වහන්ස සම්මා වායාම කියන අර්ථය ලෝකෝත්තර සම්මා වායාමයක්ව බවට පත්කොට ගන්නේ කෙසේද? කියවන්න
ස්වාමීන් වහන්ස සම්මා සතිය කියන්නේ කුමක් ද? කියවන්න
ස්වාමීන් වහන්ස ලෝකෝත්තර සම්මා සතිය යනු කුමක් ද? කියවන්න
ස්වාමීන් වහහන්ස සම්මා සමාධිය ගැන විස්තර කොට දෙන්න. කියවන්න

ස්වාමින් වහන්ස ලෝකෝත්තර සම්මා සමාධිය යනු කුමක්ද?

ස්වාමීන් වහන්ස පාසල් දරුවෙක් ආර්ය අෂ්ගිටාංගික මාර්ගය කුමන ආකාරයටද ජීවිතයට එකතු කොට ගත යූත්තේ? කියවන්න

ස්වාමින් වහන්ස ලෝකෝත්තර සම්මා සමාධිය යනු කුමක්ද?

ලෞකික සම්මා සමාධිය, විදර්ශනා නුවණින් දකින තැන ලෝකෝත්තර සම්මා සමාධිය සකස් වෙනවා. ලෝකෝත්තර සම්මා සමාධිය තුළ තෘෂ්ණාව බැසගෙන නැහැ. සමාධියේ ආශ්වාදයත්, ආදීනවයත් හොඳින් හඳුනන ඔහු වේදනාවේ නිස්සරණයට මාර්ගය සොයා ගන්නා කෙනෙක් වෙනවා. ඔහු නුවණිවන් මෙනෙහි කරනවා, අතීත සංසාරයේ සමාධිය ප්‍රගුණ කරලා, රූපාවචර, අරූපාවචර බ්‍රහ්ම තලවල කල්ප ගණන් ගතකරලා, නැවත සතර අපායන්ට වැටුණු හැටි. රූපාවචර, අරූපාවචර ධ්‍යාන සකස්කරගෙන අතීතයේ ඍදියෙන් ගමන් කළ හැටි, ලෝකෝත්තර සම්මා සමාධිය සකස්කොට ගත් තැනැත්තා දක්ෂයි, මේ සියලු සමාධියේ සංස්කාරයන් අනිත්‍යයි කියලා දකින්න. ඒ නිසාම ඔහු මේ මොහොතේ සකස්වන ධ්‍යානගත සිතට බැඳෙන්නේ නැහැ. ඒ ධ්‍යානගත සිතේ අනිත්‍යභාවය දකිමින් තමයි, ධ්‍යාන සුවය ලබන්නේ. ඔහු දක්ෂයි ආශ්වාස ප්‍රශ්වාසයේ දිග භාවය අනිත්‍ය වෙලයි, ආශ්වාස ප්‍රශ්වාසයේ කෙටි භාවය සකස් වුණේ, ආශ්වාස ප්‍රශ්වාසයේ කෙටි භාවය අනිත්‍ය වෙලයි විචාර විතර්කයක් සංහිඳුනේ. විචාර විතක්කයක් අනිත්‍යභාවයට පත්වෙලයි ප්‍රීතිය සැපය ඇති වුණේ. ප්‍රීතිය, සැපය අනිත්‍යභාවයට පත්වෙලයි උපේක්ෂාව කියන තැනට සිත පත්වුණේ කියලා. විදර්ශනා නුවණින් සමාධියේ යථා ස්වභාවය, වෙනස්වන ස්වභාවය දකිමින් සමාධිය කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදී නිස්සරණය මතුකොට ගන්න දක්ෂයි. ලෝකෝත්තර සම්මා සමාධිය සකස්කරගත් පින්වතා, සමාධිය යනු ධ්‍යානගත සිතක් යනු, රූපය ඇසුරින් සකස්වෙන පංච උපාදානස්කන්ධයක් බවත්, සමාධිය නිත්‍යභාවයෙන් ගැනීම යනු පංච උපාදානස්කන්ධය නිත්‍යභාවයෙන් ගැනීමක් බවත් දකිනවා. ඒ නිසාම සමාධිය කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදෙමින්, පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් බැහැරවීම, ලෝකෝත්තර සම්මා සමාධිය වෙනවා. මේ ලෝකෝත්තර සම්මා සමාධියේ ඵලය වශයෙනුයි ඔබ තුළ සම්මා ඥාණ සකස් වී සම්මා විමූක්තිය සාක්ෂාත්කොට දෙන්නේ.

ඉහත කාරණාවන් තුළින් පින්වත් ඔබට හොඳින් වැටහෙනවා ඇති, ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයත්, ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයත් අතර ඇති වෙනස. බුදූරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ලෝක ධාතුවේ සැප ලබාදෙන එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. පින්වත් ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන ප්‍රමාණයට, ඔබ තුළින් අකුසලය දුරුවී, සැපයට අදාළව කුසලය ශක්තිමත් වෙනවා. ඒ හේතුව නිසාම පින්වත් ඔබ මෙලොව, පරලොව සැපය, සුගතිය අයිතිකොට ගන්නවා. මේ අර්ථය අයිතිවන්නේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයට. කුසලය, සූගතිය, භවය අරමුණුකොට ගමන් ගන්නා මාර්ගය ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙනවා. මූලින්ම පින්වත් ඔබ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ශක්තිමත් වෙමින්, කුසල් පක්ෂය ශක්තිමත් කොටගනිමින්, කළ්‍යණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කරමින් ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව කුසලය, සුගතිය, භවය, අනිත්‍ය බව දකිමින් එම සංස්කාරයන්ට නොබැඳී, නොඇලී, විදර්ශනා නුවණ මෝදුකොටගෙන සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත්භාවයන් සාක්ෂාත් කොට දෙන අර්ථයට ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය යැයි හඳුන්වනවා. පින්වත් ඔබ මෙතෙක් උතුම් සෝවාන් ඵලයට පත්වී නැතිනම් ඔබ තවමත් ගමන් කරමින් සිටින්නේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බව ඔබ දකින්න දක්ෂ වෙන්න ඕනේ. පින්වත් ඔබ විවේකීව සිටින සෑම මොහොතකම ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන් නුවණින් දකිමින් එම කුසලයට, සුගතියට, භවයට අදාළ එම අර්ථයන්ගේ අනිත්‍ය භාවය දකිමින් ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළට අවතීර්ණ වෙන්න උත්සාහගන්න. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන් අනිත්‍ය වශයෙන් දකින මොහොතක් පාසා, ඔබ තුල වැඩෙන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය භාවය බව ඔබ හොඳින් වටහා ගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන සටහන අවසන් කරන මොහොතේ භික්ෂූවට පින්වත් පූංචි දරුවෙක් කියපු අර්ථවත් කතාවක් මතක් වුණා. මේ දරුවා පළමුවැනි වසරේ ඉගෙනුම ලබන දරුවෙක්. රාත්‍රියේ නිදාගන්න සූදානම් වෙනකොට, අම්මා දරුවාට කියලා තිබෙනව, පූතේ අපි ටිකක් භාවනා කරමුද කියල. අම්මයි, පූතයි දෙන්නා ඇඳේ දෙපැත්තේ එරමිණියා ගොතාගෙන භාවනා කරලා නියමිත වේලාව අවසාන කළාට පස්සේ අම්මා දරුවාගෙන් අහලා තිබෙනවා පුතේ භාවනාකරන කොට, ඔයාට මොනවාද මතකයට ආවේ කියලා. දරුවා කිව්වලු තාත්තාව මතකයට ආවා, කියලා. එහෙම කියලා, ඒ දරුවා කියනවලු අම්මේ රූපය මාරයා නේද, කියලා. පූංචි දරුවාගේ මේ දැක්ම අවබෝධාත්මක දැක්මක් නොවූවත්, අවබෝධය සඳහා හොඳ අර්ථවත් ප්‍රවේශයක් වෙනවා. තම දරුවගේ හපන්කමක් පිළිබඳව තාත්තා කෙනෙක් කළ ප්‍රකාශයකුයි භික්ෂූව ඉහතින් සඳහන් කළේ. රූපයත්, සංස්කාරයත්, සුගතියත්, මාරයා වශයෙන් දකින අවබෝධාත්මක අර්ථය ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සැබෑම අර්ථය වෙනවා.

මහත්මයෙක් භික්ෂූවගෙන් ප්‍රශ්නයක් විමසුවා, ස්වාමීන් වහන්ස, අපි වගකීම් යුතුකම් සමග බොහෝම අවිවේකී ජීවිතයක් ගත කරන්නේ, මෙහෙම අවිවේකී ජීවිතයක් තුළින් ධර්මය මතුකොට ගන්න අපහසුයි නේද කියලා. පින්වත් ඔබලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ කියන්නේ ධර්ම මාර්ගයේ ඉහත සඳහන් කළ කාරණාවන් ජීවිතයට එකතු කොට ගැනීමට, ජීවිතයේ වගකීම්වලට, කාර්යබහුලභාවය බාධාවක් බවට පත්වන්නේ නැහැ. ජීවිතයේ වගකීම් වැඩි වෙන්න, වැඩි වෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීම ඔබට පහසු වෙනවා. පින්වත් ඔබ මුලින්ම සම්මා දිට්ඨියේ අර්ථයන් ජීවිතය තුළින් පෝෂණය කර ගැනීමට තමයි වෙහෙසක්, කැපවීමක් සිදු කළ යුත්තේ. සම්මා දිට්ඨිය පරිපුර්ණ කරගන්න තැනදී, ඔබේ ජීවිතයේ අවිවේකී භාවය ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමට හොඳ තෝතැන්නක් වෙනවා.

පින්වත් ඔබ නුවණින් මෙනෙහි කොට බලන්නකෝ වගකීම් වැඩි කෙනෙකුට ද, වගකිම් අඩු කෙනෙකුට ද වැඩියෙන් සම්මා සංකප්පය වඩන්න පුළුවන් කියලා. හිංසාවෙන්, ව්‍යාපාදයෙන් පිරුණු සමාජය ඔබට අවිහිංසාව, අව්‍යාපාදය වැඩීමට හොඳ අත්වැලක් සපයා දෙනවා. පින්වත් ඔබ සිතන්න, ඔබ ඉදිරියට දිනකට එක පින්වතෙක් පැමිණියහොත් ද, ඔබ ඉදිරියට පින්වතුන් සියයක් පැමිණියහොත් ද, ඔබට වැඩිපූර සම්මා සංකප්පයන්, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා වායාම ධර්මයන් වැඩිපුර ජීවිතයෙන් වඩන්න පුළුවන් කියලා. ඔබ ඉදිරියට දිනකට සිය දෙනෙක් පැමිණියහොත් ඔබට ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩවා ගැනීමේ ශක්තිය වැඩි වෙනවා. ගිහි පින්වතුන් වශයෙන් ඔබේ ජීවිතය ඉදිරියට ඔබ අකැමති දේවල් නිතරම සිදුවෙනවා නම්, ඔබ දක්ෂවෙන්න ඕනේ, ඔබ අකැමති දේවල් නිරතුරුව සිද්ධවෙන්නේ අකුසල් සංස්කාරයන් නිසා. එම අකුසල් සංස්කාරයන් විපාක දෙනවිට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ශක්තිමත් වෙමින් කුසලය මතුකොට ගන්න. භික්ෂූවගේ ගිහි ජීවිතයේ දී ගතකළේ අවිවේකී ජීවිතයක්. මෙතනදී මම කැමති කරන අත්දැකීම් වලට වඩා මට ලැබුණේ අකැමති කරන අත්දැකීම්. නමුත් එදා මම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන් දැනගෙන සිටියේ නැති වුණත්, නිරතුරුව මා තුළ වැඩී ඇත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම බව දැන් මට හොඳින් වැටහෙනවා. සද්ධර්ම ශ්‍රවණය තුළින්, සම්මා දිට්ඨියේ අර්ථය ජීවිතයට එකතුවෙන තැන දී, ආයාසයකින් තොරවම ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමේ අත්දැකීම මට ගිහි ජීවිතයේ දී ලැබී තිබුණා. පින්වත් ඔබ අහිංසක, අසරණ, දූගී පින්තෙකුට සිනාවකින් සතුටු කරන තැන දී, පින්වත් ඔබ වාඩි වී සිටින ආසනය තවත් කෙනෙකුට පරිත්‍යාග කරන තැන දී, අසරණ පින්වතෙකුට බත් කටක්, රුපියලක් පරිත්‍යාග කරන තැන දි ඔබ එය සිදුකරන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් නම් කර්මය, කර්මඵල විශ්වාසය ඇතුව නම්, ඔබ තුළ වැඩෙන්නේ සම්මා දිට්ඨියේ අර්ථයන්මය. දූක තුනීකොට ගැනීමට තෘෂ්ණාව සියුම් කොට ගැනීමට ධර්ම මාර්ගයේ ගමන් කිරීමට උත්සා ගන්න පින්වතා මුලින් කළ යුතු වන්නේ සම්මා දිට්ඨියේ අර්ථයන් නුවණින් මෙනෙහි කිරීමේ භාවනාවයි. භික්ෂූවගේ ජීවිතයේ භික්ෂූව මුලින්ම කළ භාවනාව කුමක් ද කියලා මේ මොහොතේ සිහිපත් කරන කොට භික්ෂූව මුලින් පුහුණුකොට තිබෙන්නේ සම්මා දිට්ඨියේ අර්ථයන් නුවණින් මෙනෙහි කිරීමේ භාවනාවයි. මෙය භික්ෂූව ආරම්භ කළේ, ගිහි ජීවිතයේදී. සම්මා දිට්ඨි භාවනාව මා තුළින් අර්ථවත් වෙද්දී අවිවේකී, කටුක, පෙරළා හොඳක් නොලැබෙන, සමාජයට කිඳා බසිමින් මා රැස්කොට ගත්තේ සම්මා සංකප්පයක්මයි. කුමක් ද මෙතනදී සිදුවෙලා තිබෙන්නේ. සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්පයන් යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රඥාවට අදාළ අංග දෙකයි. ප්‍රඥාවට අදාළ අංග දෙක මුලික කොට, මා තුළින් වැඩීමේ දී එම ප්‍රඥාවට අදාළ අංග දෙකේ අර්ථයන් තුළින්ම මා සීලයෙනුත්, සමාධියේනුත් පරිපූර්ණ භාවයට පත්වීමයි අවසානයේ දී සිදුවී තිබෙන්නේ. ධර්ම මාර්ගයේ දී බාහිර උවදුරුවලට කොටු නොවී ශක්තිමත් ස්ථාවරයක් ගොඩනගා ගන්න. ඉහත උපක්‍රමය භික්ෂූවට හොඳ ආරක්ෂාවක් ලබා දුන්නා. ගිහි ජීවිතයේ දී මම සීලය මුල්තැනට ගත්තා නම්, කාමයන්ගේ නිෂ්ඵලභාවය, අවබෝධකොට ගැනීමට අත්දැකීම් නොමැතිභාවය නිසාම, පංචනීවරණයන්ට යටවී සමාධියත් ප්‍රඥාවත් දෙකම අහිමි කොට ගන්නවා. ගිහි ජීවීතයේදී අවශ්‍ය තැන දී ආශ්වාදය ලබමින් බිඳණු සිල්පදයත් ඉන් සකස්වූණු අකුසල් සංස්කාරයනුත් අනිත්‍ය බව දකිමින් අකුසලයක් තුළින්ම කාමයන්ට අභිහයෝග කොට අනිත්‍යවන අකුසල් සංස්කාරයක් තුළින් සමාධියත්, ප්‍රඥාවත් දෙකම මෝදු කොට ගැනීමට මට එදා දක්ෂභාවය තිබුණා. මෙය සම්මතයන්ට අභියෝග කොට මාර්ගය මතුකොට ගන්න අවස්ථාවක් හැටියටයි මම දකින්නේ. ඒ හැකියාව මට ගිහි පිවිතයේ දී ලැබුණේ මගේ කුසල් සංස්කාරයින්හේ බලවත්භාවය නිසාමයි කියලයි මා දකින්නේ. වක්කලී ස්වාමීන් වහන්සේ බෙල්ල කපාගෙන උතුම් රහත්ඵලයට පත්වී පිරිනිවී ගියාය කියලා තව කෙනෙක් බෙල්ල කපාගෙන උතුම් රහත්ඵලය අවබෝධ කොටගන්න උත්සා කළ යුතු නැහැ. චක්ඛුපාල මහරහතන් වහන්හසේ ඇස් දෙකට ප්‍රතිකාර නොකර දෑස් අන්ධභාවයට පත්වී උතුම් රහත්ඵලයට පත් වුණාය කියලා තව කෙනෙක් දෑස් අන්ධ කොට ගෙන උතුම් රහත් ඵලයට පත්වන්න උත්සා කළ යුතු නැහැ. ඒවා එකිනෙකාගේ අතීත සංස්කාර ධර්මයන්ට අදාළව සිදුවෙන ධර්මතාවයන්. නමුත් කෙනෙකුගේ අත් දැකීම් ප්‍රකාශ කිරීමේ අයිතිය කාටත් තිබෙනවා. නමුත් ඒවා තව කවුරුවත් ආදර්ශයට ගත යුතු නැහැ. එම අත්දැකීම් ප්‍රකාශ කිරීම නිසා ගිම පින්වතුන්ලා ගැටීමට පත්විය යුතු නැහැ. අහිංසක කුමාරයා මනුෂ්‍ය ඝාතන 999 ක් සිදුකරලා, අංගුලිමාල හැටියට උතුම් අරහත්ඵලය සාක්ෂාත් කොටගත් උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් තුළයි අපි මේ අත්දැකීම් සටහන් තබන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව මේ සටහන් අවසන් කරන කොට භික්ෂූව ඔබට බොහහෝම කාරුණිකව මතක් කරනවා දිනපතා සම්මා දිට්ඨියේ අර්ථයන් භාවනාවක් හැටියට නුවණින් මෙනෙහි කරන්න. සම්මා දිට්ඨියේ භාවනාව තුළ ගෙවාගෙන පැමිණි අතිදීර්ඝ භව ගමනත් අනාගත භව ගමනත්‍ දීර්ඝ කටුක භාවයත්, කුසලයේ සැපයත්, අකුසලයේ දුකත් ශ්‍රද්ධාවේ සම්මා දිට්ඨියත්, අශ්‍රද්ධාවේ මිථ්‍යා දෘෂ්ටියත්, භව ගමනත්, භව නිරෝධයත් පිළිබඳව සැබෑම චිත්‍රය පින්වත් ඔබට මතුකොට දෙනවා. ලෞකික සම්මා දිට්ඨිය කුසලය පිළිබඳවත් භවයේ සැපය, දේවතානුස්සතිය පිළිබඳවත්, ලෝකෝත්තර සම්මා දිට්ඨියේ අර්ථයන් තුළ, සංස්කාරයන්ගේ අනිත්‍ය දැක්ම තුළ ප්‍රඥාව මෝදු වීමත් සිදුවෙනවා. මෙම සටහනේ මුලින් සඳහන් සම්මා දිට්ඨියේ අර්ථයන් කමටහනක් කොට ගත් තැන දී මුලු ආර්ය අෂ්ටා ගික මාර්ගයේම අර්ථය ඔහේ ජීවිතයට එකතු කොට ගැනීමේ ශක්තිය ලැබෙනවා.