01

වේලාව සවස හතරට පමණ ඇති, නොවැම්බර් වැසි කාලයේ, වැසි වළාකුළු බොහෝම ඉක්මනට, කඳු සහිත තෙත්කලාපීය පරිසරයට, අඳුර රැගෙන එනවා. ගහකොළ නිසොල්මන්ව තිබෙන්නේ, කුරුල්ලන්ගේ එකිනෙකට වෙනස් වූ කිචි බිචිය, තොරතෝංචියක් නැතුව ඇසෙනවා. දිනයේ අවසාන ආහාර වේලට, රසවත් පණුවෙක්, දළඹුවෙක් සොයමින් ගහෙන් ගහට පියාඹන කුරුල්ලන් මේ උත්සාහ ගන්නේ, දිනයේ අවසාන ප්‍රාණඝාත අකුසලයක් සිදුකොට ගෙනම රාත්‍රී නින්දට යන්න. දවස පුරාම ප්‍රාණඝාත අකුසල්ම සිදුකර ගනිමින් පණුවන්, දළඹුවන් මරාගෙන කෑමෙන්, කුස පිරෙනකොට කුරුල්ලන්ගේ කිචි බිචියේ හඬ තව වැඩිවෙනවා. පිංවත් ඔබ ආශ්වාදය ලබන කුරුල්ලන්ගේ කිචි බිචිය කියන්නේ, එම කුරුල්ලන් ලබන කාම ආශ්වාදය. එම ආශ්වාදය උදෙසා, අතීත අකුසල් සංස්කාර හේතුවෙන්ම, පණුවන්, දළඹුවන් දස දහස් ගණනක් දිනකට මේ වනපෙතේ, මරණයට පත්වෙනවා. අකුසල් සංස්කාරයන්ගේ කුරිරු ස්වභාවය පිලිබඳ පැහැදිලි කමටහනක්, කුරුල්ලන්ගේ කිචි බිචිය තුළ සැඟවී තිබෙනවා. තව මොහොතකින් ඇඳිරි වැටේවි, වැසි වළාකුළු බරවෙච්ච මළානික අඳුරු පරිසරය, ජීවිතයට අනිත්‍ය සංඥාවන් තව තවත් මෝදුකොට දෙනවා. අඳුර වැටුණාය කියන කාරණය නොවේ ජීවිතයට දැනෙන්නේ. උදෑසන පෑයූ ඉර අනිත්‍යව ගියාය කියන කාරණයයි. උදෑසන දිනය පටන් ගන්නා කොට තිබූ පරිසරයේ දීප්තිමත්භාවය, අඳුර විසින් ගිලගන්නා කොට, දිනය පුරාවට, පින්වත් ඔබ තුළ සක්ස්වුන සිතුවිලි කීදාහක් සංස්කාර විසින් ගිලගන්නට ඇතිද. ඉර ගාලගෙන යන වේගයෙන්ම සංස්කාරයන් ගලාගෙන යනවා. වරෙක ඉර විසින්ම ලෝකය එළිය කරනවා, වරෙක ඉර විසින්ම ලෝකය අඳුරු කරනවා. පිංවත් ඔබ රැස්කරන සංස්කාරයන්ද වරෙක ඔබව සුගතියට යොමුකරනවා, වරෙක ඔබව දුගතියට යොමුකරනවා. සතර මහා ධාතුවෙන් නිර්මාණය වූ, ඉර නමැති රූපයද, ශරීරය නමැති ආයතන හයෙන් නිර්මාණය වූ රූපයද, එම රූපයන් කෙරෙහි චන්දරාගයෙන් සකස්වෙන පංචඋපාදානස්කන්ධයද පරිසරයට චමත්කාර අර්ථකතනයක් ලබාදෙනවා. මෝහය දළුලනවා, දළු කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳුනු පණුවන්, දළඹුවන් දළුවල සාරය උරා බොන විට, කුරුල්ලන් එම සතුන්ව මරාගෙන කනවා. ලෝකයේ අර්ථය අවිද්‍යාවෙන් පටලවාගතහොත්, පිංවත් ඔබ තුළත්, අවිද්‍යාවේ දළු මෝදුවෙනවා. අවිද්‍යාවේ දළු අතර සුවසේ වැඩෙන, අකුසල් මූලයන්, පින්වත් ඔබේ සුගතියේ සැපය මරාදමනවා. දැන් අඳුර,වැටෙන්න හුඟාක් කිට්ටුයි. දිනය පුරාවට මුළු ආසියාවම ආලෝකමත් කරපු ඉර එලිය අනිත්‍ය වී යනවා. උපැස් යුවළ පැළඳගෙන මේ සටහන ලියන භික්ෂුවගේ දෑස් දෙකත් කෙවෙනවා. එකම මොහොත මුළු ආසියාවම ආලෝකමත් කරපු ඉර අනිත්‍ය වී ගිය නම් මේ පුංචි ඇස් දෙක ගැන මොන බලාපොරොත්තු තබා ගන්නද. රූපය, රූපයේ ස්වභාවය වන ජාති ජරා ව්‍යාධි මරණ ස්වභාවයෙන්ම තිබුණාදෙන්. අවබෝධය තුළින්ම ඉරත්, ඇසත් දකින්න ඔබ දක්ෂවෙන්න ඕනේ. ආලෝකයත්, පෙනීමත් දකින්න ඔබ දක්ෂවෙන්න ඕනේ.

රාත්‍රිය ගැන කථාකරන කොට, ලොව්තුරා බුදුරජාණන්වහන්සේ, කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේට, අර්ථදැක්වූ සූත්‍රයක් මතකයට එනවා. එය වම්මික සූත්‍රය. සම්‍යක්දෘෂ්ටික දෙවියෙක් තමයි රාත්‍රී කාලයේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ මුණගැසීමට පැමිණිලා, මේ සූත්‍රය නිධාන වෙච්ච කාරණය තමයි පවසන්නේ. මෙම දෙවියා විමසනවා කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේගෙන් හිමියනි තුඹසක් තිබෙනවා. එම තුඹස රාත්‍රී කාලයට දුම් දමනවා. දහවල් කාලයට මේ තුඹස ගිනි ගන්නවා. මේ තුඹස කියන්නේ කුමක්ද, මේ තුඹස රාත්‍රී කාලයට දුම් දමනවා, දහවල් කාලයට මේ තුඹස ගිනි ගන්නවා කියන්නේ කුමක්ද කියලා. කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ මෙම ප්‍රශ්නය බුදුරජාණන්වහන්සේ හමුවට අරගෙන යනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා කුමාරකාශ්‍යප, මේ තුඹස තමයි සතර මහා ධාතුවෙන් සැදුන, ආහාර නිසා පෝෂණය වන, මේ ශරීරය කියලා. මේ මනුෂ්‍යයා රාත්‍රී කාලයට දුම් දමනවා. පිංවත් ඔබ දිනය නිමාකරලා නිදි පැදුරට වැටුනට පස්සේ නින්ද පැමිණෙන තුරාවට පසු දවසේ කළ යුතු ගොඩාක් දේවල් සැලසුම්කරනවා. රැකියාව,ව්‍යාපාරය, අධ්‍යාපනය, පවුල, සමාජ සේවය, විනෝදය, හෙට දවසේ මේවා විඳින හැටි අයිතිකොට ගන්නා හැටි, මනසින් චිත්‍ර මවාගන්නවා, විතර්ක ගොඩනගා ගන්නවා. රාත්‍රී කාලයම ජීවිතය නමැති තුඹස දුම්දැමීම නිසාම, හුඟදෙනෙකුට වර්තමානයේ නින්ද කියන කාරණය ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මේ හේතුව නිසාම වර්තමානයේ මනුෂ්‍යයා බෙහෙත් පෙත්තකින් නින්ද ලබාගැනීමේ උත්සාහයට පැමිණ තිබෙනවා. වර්තමානයේ පිරිටන් පෙත්තක් ෆාමසියකින් ලබාගන්නත්, වෛද්‍ය නිර්දේශයක් අවශ්‍ය වෙනවා. ඒ තරමට නින්ද නොයාම මනුෂ්‍යයාට ප්‍රශ්නයක් වෙලා. ප්‍රශ්නය විසඳා ගන්න මනුෂ්‍යයා උත්සාහගන්නේ, බෙහෙත්පෙති ගිල දමමින්, එසේත් නැත්නම් මත්ද්‍රව්‍ය ගිලදමමින් තව තව අතුරු ආබාධ කරා ජීවිතය යොමුකරවමින්. අනාගත ලෝකයේ ඖෂධ රෝහල් සේවාවන් මේ හේතූන් නිසාම ලාභදායි ව්‍යාපාරයක් වෙනවා. මෙම ව්‍යාපාරයන්ගෙන්, සේවාවන්ගෙන් තොරව ජීවත් වීමට මනුෂ්‍යයාට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. රෝගීන් නිසාම අතිරික්ත ධනය මේවාට ගලාගෙන එනවා. එම ක්ෂේත්‍රයන්හි සේවයන් සලසන පිංවතුන්ද එම අතිරික්ත ධනය නිසාම, අකුසල මූලයන්ට කොටුවෙනවා. මාරයා ලෝකය ලස්සනට නිර්මාණය කරනවා. එක පැත්තකින් ධර්මයෙන් ඈතට යන මනුෂ්‍යයින් රෝගීන් බවට පත්වෙනකොට, නිරෝගීභාවය උදෙසා බෙහෙත් කරන ආයතන, අතිරික්ත ධනය තුලින් අකුසලයට යොමුකරනවා. භික්ෂුවට මතකයි මීට වසර විසිපහකට පමණ පෙර, භික්ෂුවගේ ගම් පළාතේ සුදුසුකම්ලත් බටහිර දොස්තර මහත්මයෙක් සිටියා. එම දොස්තර මහත්මයා රෝගීන් පරීක්ෂා කරලා අවශ්‍ය බෙහෙත් ලබාදීලා අයකලේ රුපියල් විස්සයි. එතුමාම ලංගම බසයෙන් ඔසුසලට ගිහිල්ලා සතියකට වතාවක් අවශ්‍ය ඖෂධ අරගෙන එනවා. අවුරුදු විසිපහක කාලයක් තුළ අපි වර්තමානයේ සිටින අවිවේකි, දිගු පෝලිම් සහිත, මිල අධික, වෛද්‍ය සේවාවක් කියන තැනට පැමිණ තිබෙනවා. සුපිරි පන්තියේ රෝහල්, ඉහල ශ්‍රේණියේ වෛද්‍ය පහසුකම්, දියුණු කරන ලද ඖෂධ සහ සේවාවන් තුලින්, වර්තමානයේ අපි දකින්නේ මන්ෂ්‍යයාගේ අකුසල් මූලයන්ගේ දියුණුභාවයයි. දුස්සීලභාවයන් නිසාම ලෝභ, ද්වේශ, මෝහ ධර්මතාවයන් නිසාම, මන්ෂ්‍යයාගේ උපත සහ මරණය, අතර කාල පරාසය හීනවෙනකොට, එම අඩු කාලපරාසය පිරවෙන්නේ රෝගාබාධවලින්. මේ හේතුවෙන් ඉහත ක්ෂේත්‍රය තව තව වෙනවා. එම ජනප්‍රියභාවය පිංවත් ඔබව අකුසල මූලයන් දෙසටමයි යොමු කරන්නේ. එම නිසා පිංවත් ඔබ දක්ෂවෙන්න ඕනේ මාරයා සැලසුම් කරන දිශාවට නොව, සද්ධර්මයේ අර්ථයන් වැඩෙන දිශාවට ගමන් කරන්න. ධර්මානුකූලව ජීවිතය ගලපාගැනීමට අදක්ෂ අය, ඕනෑම දිශාවකට ගිය දෙන්. පිංවත් ඔබ ගලා එන මුදල් හමුවේ දුක සැප පටලවාගන්න එපා. ආශ්වාදයන් හමුවේ ආදීනවයත් තිබෙනවාමයි. එය ධර්මතාවයකි. එම නිසා තමාගේ සීමාව කුමක්ද යන්න ධර්මානුකූලව ගලපාගන්න දක්ෂ වෙන්න ඕනේ.

භික්ෂුව හොඳින් හඳුනන රජයේ රෝහලක වසර තිහකට වැඩි කාලයක් සේවය කල හෙදි පාලිකාවක් සිටියා. ඇය තම රෝහලේ සේවය අකුරටම සිදුකල හෙදි සොයුරියක්. ඇය නිරතුරුව ප්‍රකාශ කලේ තමාට සිල් සමාදන්වීමට දන්දීමට, භාවනා කිරීමට, අවශ්‍ය නොවන බවත්, තමා රෝගීන් වෙනුවෙන් කරන සේවය, රෝගී උපස්ථානය, තමාට හොඳටම ප්‍රමාණවත් බවයි. ඇය රෝහලේ සේවය තුලින්, රෝගීන්ට කරන උපස්ථානය, ලොකුම පිංකම හැටියටයි විශ්වාස කලේ. මේ හේතුව නිසාම ඇය පන්සල් යාම සිල්සමාදන් වීම, දන්දීම සිදුකලේ බොහෝම අඩුවෙන්. මේ සටහන් ලියන වේලාවේ, විශ්‍රාමික ඇය දැඩිලෙස රෝගීව, සිහිමද ගතියෙන් පසුවන්නේ, ඇය මෙලෙස රෝගීව මාස හයකට වැඩියි. ඇයගේ ඥාතීන් කියන්නේ ඇය හුඟාක් දුක් විඳින බවයි. පිංවත් වෛද්‍ය ක්ෂේත්‍රයේ ඔබ නුවණින් දකින්න උතුම් තෙරුවන් සරණ පැත්තකින් තබලා, රෝගීන් සරණකරගත් හෙදි සොහොයුරියක්, උතුම් ශීලය, සිල්වතුන් උදෙසාම පූජාකරන දානය පැත්තකින් තබලා, රෝගීන්ට පමණක් සලකපු, උපස්ථාන කරපු ගෞරවනීය හෙදි සොහොයුරියගේ ජීවිතය තුළ මෙවැනි මොහොතක ශක්තිමත්ව මතුකොට ගැනීමට කුසලයක් තිබිය හැකිද. සමහරක් පිංවතුන් සිතනවා, තමන් රාජකාරිය හැටියට රෝගීන්ට කරන්නා වූ ප්‍රතිකාර, උපස්ථාන නිසා තමන්ට දාන, ශීල භාවනා කටයුතු කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. පිංවත් ඔබ මේ මුලාවෙන් බැහැර වෙන්නට ඕනේ. පිංවත් ඔබ රෝගීන් උදෙසා කරන සේවය, ඔබේ මරණය නැමති අභියෝගාත්මක අවස්ථාවේදී, ශක්තිමත් කුසලයක් බවට මතුකොට ගැනීමට, ඇති ඉඩකඩ ඉතාමත් සීමිතයි. මොකද පිංවත් ඔබ, රැකියාවක් වශයෙන්, වැටුපක් උදෙසායි මේ උපස්ථානයන් සිදු කරන්නේ. උසස් වීම්, අතිකාල, දිරි දීමනා, සේවා සුරක්ෂිතභාවය, වෘත්තීමය අයිතිවාසිකම්, මේවා ලබාගනිමිනුයි ඔබ රෝගීන්ට උපස්ථානය කරන්නේ. දෙවැනි කාරණය තමයි,පිංවත් ඔබේ උපස්ථානයට ලක්වෙන රෝගියා සමහර විට පංචසීලය රකින්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. එසේත් නැතිනම්, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් බැහැර කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම වෙනකොට කුසල් මූලයන් ශක්තිමත්ව මතුකොට ගැනීමට හැකියාව නැතිවෙනවා. රෝගීන්ට උපස්ථානය කිරීම් සම්බන්ධව ලොව්තුරා බුදුරජාණන්වහන්සේ බොහෝම පැහැදිලි දේශනාවක් කොට තිබෙනවා. මේ දේශනාවට වැරදි අර්ථයන් දක්වමින් පිංවතුන් සිතනවා, රෝගීන්ට උපස්ථානය කිරීම, බුදුරජාණන්වහන්සේට උපස්ථානය කිරීමක්ය කියලා. මේ මතය නිසාම රැකියාවක් වශයෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීම, උපස්ථාන කිරීම තුළින් ප්‍රාතිහාර්යයක් බලාපොරොත්තු වෙනවා. ඉහත මතය සම්පුර්ණ වැරදි මතයක්. බුදුරජාණන්වහන්සේ දේශනා කොට ඇත්තේ, යමෙක් රෝගීන්ට උපස්ථානය කරන්නේ නම්, ඔහු හෝ ඇය, බුදුරජාණන්වහන්සේ දේශාන කළ දෙය කරන කෙනෙක් වෙනවාය කියලයි. ලොව්තුරා බුදුරජාණන්වහන්සේට කරන උපස්ථානය, ප්‍රතිකාරය ලෝකයේ ඇති ශ්‍රේෂ්ඨම පිංකමක් වෙනවා. එය ශ්‍රේෂ්ඨම පිංකමක් වන්නේ, බුදුරජාණන්වහන්සේ ගුණයන්, ඥාණයන් නිසාමයි. දෙවැනි ශ්‍රේෂ්ඨ පිංකම වන්නේ, මහාසංඝරත්නය උදෙසා කරන උපස්ථානයයි. තෙවනුව ශ්‍රේෂ්ඨවන්නේ ශීලයන් ආරක්ෂාකර ගනිමින් ජීවත්වන පිංවතුනට කරන උපස්ථානයයි. අනෙකුත් සියළුම උපස්ථානයන් මේ සීමාවෙන් පහළටයි ගැනෙන්නේ. ඉහත උපස්ථාන ඔබ කළ යුත්තේ ලාභසත්කාර, කිර්ති ප්‍රශංසා බලාපොරොත්තුව නොවෙයි. එසේ බලාපොරොත්තු ඇති කරගතහොත්, ආනිශංස පක්ෂය හීන වෙනවා. මොනම හේතුවක් නිසාවත් රෝගීන්ට උපස්ථානය කිරීම බුදුරජාණන්වහන්සේට කරන උපස්ථානයක් වශයෙන් දකින්න එපා. එහෙම වුනොත් පිංවත් ඔබට බුදුරජාණන්වහන්සේගේ උතුම් ඥාණයන්, ගුණයන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්කොට ගැනීමට නොහැකිවෙනවා. මෙම කාරණය සඳහන් කිරීමට භික්ෂුව අසහස් කලේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සමහරක් පිංවතුන්, තමන් රෝගීන්ට කරන උපස්ථාන තුලින් පමණක් සෑහීමට පත්වෙන ප්‍රවණතාවයක් දැකීමට තිබෙන නිසා. පිංවත් ඔබ රෝගී උපස්ථානය, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්, ශීලයත්, දානයත් තුලින් අයෝමය ශක්තියක් බවට පත්කොට ගැනීමට දක්ෂවෙන්න. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා රෝගියා යනු දේවදූතයෙක්ය කියලා. රෝගියා තුලින් දේවදූතයා මතු කොට ගන්නේ පිංවත් ඔබත් ලෙඩවෙන මැරෙන ස්වභාවයෙන් යුක්ත බව තේරුම් ගැනීමෙන්. රෝහල කියන්නේ රෝගියා කියන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, සතර සතිපට්ඨාන ධර්මයන්ම හොඳින් වැඩෙන මරණානුස්සතිය අසුභය කමටහන් හොඳින් වැඩෙන තෝතැන්නක්. මෙතනදි පිංවත් ඔබ දක්ෂ වෙන්න ඕනේ, මෛත්‍රිය නැමැති විපාකදී අවසන් වන සංස්කාරයන්ගෙන් ඔබ්බට ගොස්, ධර්මයේ සැබෑම අරටුව වන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ධර්මතාවයන්ම රෝගියා තුලින් මතුකොට ගන්න. රෝගියා තුලින් තමාව දකින්න. අතීත සංස්කාරයන්ගේ බියකරුබව නුවණින් මෙනෙහි කරන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, කර්මය කර්මඵල විශ්වාසය නොදන්න බටහිර සමාජය, රෝගී උපස්ථානය තුලින් ආශ්චර්යයක් බලපොරොත්තුවෙනවා. ප්‍රේත ලෝකයේත්, තිරිසන් ලෝකයේත් නීරෝගී ප්‍රේතයන්, නීරෝගී තිරිසන් සතුන් සිටිනවා. මේ අය පෙර මනුෂ්‍ය ජීවිතවල ඉපිද රෝගීන්ට හොඳින් උපස්ථාන කළ උදවිය. නමුත් ශ්‍රද්ධාව, ශීලය කියන කාරණාවන්, කර්මය කර්මඵල විශ්වාසය ජීවිතයට එකතුකොට ගන්නේ නැහැ. අපි මරණින් මතු නීරෝගී ප්‍රේතයෙක්, නීරෝගී තිරිසන් සතෙක් වෙලා වැඩක් නැහැ. උතුම් සම්මා දිට්ඨියට පත්වූ මනුෂ්‍යත්වයයි, දේවත්වයයි වටින්නේ. ඒ වටිනාකම ලබාගන්න නම්, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ශීලය, දානයට ජීවිතය තුලින් වටිනාකම ලබාදෙන ගමන්ම, රෝගී උපස්ථානයද කරුණාවෙන් ගෞරවයෙන් යුතුව සිදුකරමින් රෝගී උපස්ථානය අර්ථවත්කොට ගන්න දක්ෂ වෙන්න.