01

ලොව්තුරා බුදුරජානන්වහන්සේ දිනක් මහා සංඝරත්නය පිරිවරාගෙන මගධ ජනපදයේ චාරිකාවේ වදිනවා. මගධ ජනපදයේ බොහෝම මහේශාක්‍ය ලෙස ජීවත්වෙන කූටදන්ත බ්‍රාහ්මණයා මේ දිනවල විශාල යාගයකට සුදානම් වෙමිනුයි සිටියේ. මෙම කූටදන්ත බ්‍රාහ්මණයාට අයත් විශාල උයනේ ලොකු ගවයන් 700ක් ගොන් නාම්බන් 700ක් තරුණ වැස්සියන් 700ක් එළුවන් 700ක් බැටළුවන් 700ක් යාගය සඳහා කණුවල තිබුණා. යාගය පවත්වන බ්‍රාහ්මයන්ගේ ප්‍රභුභාවය මහේශාක්‍යභාවය අනුව යාගයට ගන්න සතුන් ප්‍රමාණය වැඩිවෙනවා. කූටදන්ත බ්‍රාහ්මණයා කියන්නේ බොහෝම ප්‍රභූ බ්‍රාහ්මණයෙක්. ඒ නිසාමයි යාගය මෙතරම් සරුසාර ලෙස සංවිධානය තිබුණේ. මේ යාගය පැවැත්වීම සඳහා සිව්දිශාවෙන් පැමිණි මිත්‍යාදෘෂ්ටික බමුණන් 500 දෙනෙක් කූටදන්ත බ්‍රාහ්මණයාගෙන් ආගන්තුක සත්කාර ලබමින් යාගයෙන් අනතුරුව ලැබෙන පඬුරු ලභාසත්කරවලට ගිජුව උයනේ නැවතී සිටියා. තමන්ගේ සැපය උදෙසා, තමන්ගේ සතුට උදෙසා අහිංසක සතුන්ව අමු අමුවේ මරාදම එම සතුන්ගේ මරණීය අඳෝනා තුළින් එම සතුන්ගෙන් ගලායන උණුසුම් රුධිරය තුළින් විමුක්තිය සක්ෂාත්කරගැනීම මේ සැමදෙනාගේම බලාපොරොත්තුව වුණා. මිත්‍යාදෘෂ්ටික බමුණන්ගේ පැවැත්ම උදෙසාම එදා සමාජයේ වපුරා තිබු මෙම කුරිරු සත්ව ඝාතන යාගයන් හේතුවෙන් ලක්ෂගණන් සතුන් ඉතාමත් කුරිරු ආකාරයට ජීවිත පුජකළා.

කූටදන්ත බ්‍රාහ්මණයාගේ අතීත කුසලයක් නිසාදෝ මේ කුරිරු යාගයට පෙරාතුව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බැහැදකින්න යන දහස්ගණනින් යන ගම් වැසියන් සමග ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ගියා. යාගය පැවැත්වීම සඳහා පැමිණි සිටි බමුණන් 500 දෙනාම කෙළහලමින් සිටියේ අහිංසක සතුන් 3500ක් දෙනාගේ බෙලි කඩු, මන්න, පිහිය වලින් කපලා ගලායන රුධිරය දැකලා සතුටුවෙන්න. ලැබෙන පඬුරු දැකලා සතුටුවෙන්න. මේ බමුණන්ගේ විරෝධය මැදයි කූටදන්ත බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ගියේ. එතැනදි බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහි පිංවතුන්ලාට මෙලොව පරලොව වශයෙන් යහපත සලසාදෙන උතුම්ම යාගය කුමක්ද කියලා. යම් පිංවතෙක් හදවතින්ම තෙරුවන් සරණ පිහිටලා මහා සංඝරත්නයට සිව්පසයෙන් ඇප උපස්ථාන කරලා පංචශීලය සමාදාන වෙලා ජීවත්වෙනවා නම්, එය තමයි මේ ලෝකයේ ඔබගේ විමුක්තිය උදෙසා ඇති ලොකුම යාගය කියලා. මේ උතුම් යාගය යම් ගිහිපිංවතෙක් සිදුකළොත් සතුන් මැරෙන්නේ නැහැ. සතුන්ට හිංසාවක් වෙන්නේ නැහැ. සතුන්ට හිංසාකිරීම නිසා අපාගතවන මිනිසුන් ඇතිවෙන්නේ නැහැ. මේවැනි කුරිරු ආදර්ශයන් සමාජයේ වටිනාකම් බවට පත්වෙන්නේ නැහැ කියලා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය ශ්‍රවණය කරලා කූටදන්ත බ්‍රාහ්මණයා උතුම් තෙරුවන් සරණ පිහිටියා. ශීලයේ වටිනාකම හොඳින් හඳුනාගත්තා. ඒ මොහොතේම කුරිරු යාගයට සුදානම් කොට තිබු සතුන් 3500 දෙනාම නිදහස් කොට හැරියා. තෙරුවන් සරණ නිසාම රැස්වීමට තිබු මහා අකුසල් කන්දක් වැළකී ගියා. යාගය සිදුකිරීමට පැමිණි බමුණන් 500 දෙනා බුදුරජානන්වහන්සේට දෝෂාපරෝපණය කරමින් විසිරී ගියා. අහිංසක සතුන් 3500 දෙනෙකුගේ මරණීය අඳෝනාවන්ගෙන් එම සතුන්ගේ උණුසුම් රුධිරයෙන් සහ කූටදන්ත බ්‍රාහ්මණයාගේ පඬුරු වලින් තෘප්තිමත් වීමට බලාපොරොත්තුව සිටි බමුණන් 500 දෙන මේ මොහොතේ භවයේ කොතැනක සිටීද යන්න හේතුඵල ධර්මයන්ට අනුව පිංවත් ඔබ සිතා බලන්න ඕනේ. වර්තමානයේ යාගයන් සඳහා බෙල්ල කැපෙන එළුවෙක්, කුකුලෙක් වෙලා මෙම බමුණන් ඉන්න පුළුවන්. කවුරුන් හෝ යාගයක් සිදුකරන්නේ තමන්ගේ පැවැත්ම ආරක්ෂාව සහ විමුක්තිය උදෙසාමයි. යාගයක් කියන්නේ තිරිසන් සතුන් බිලිදීම පමණක් වෙන්නේ නැහැ. මනුෂ්‍යයින් බිල්දීමද යාගයක් වෙනවා. මනුෂ්‍යයින් බිලිදෙන යාගයන් ලෝකයේ හැමදාමත් පැවතුනා. ඒවාට අපි යාගයන් නොවෙයි යුද්ධය කියලා. යාගයේ නාමයෙන් කෙරුණත් යුද්ධයේ නාමයෙන් කෙරුණත් මේවායින් සතර අපායේ උපතකට ඔටුණු පලඳවන විමුක්තියක් විනා එකම සිතුවිල්ලක සැපයක් උදෙසා ඔටුණු පළඳවන විමුක්තියක් නම් මේවායින් ලැබෙන්නේ නැහැ. අපිට මතක ඇති කාලයේ අපේ රටෙත් 1971, 1983, 1989 මෙවැනි යාගයන් කිහිපයක් පැවතුනා. උතුරේ ප්‍රශ්නය නමින් දශක ගණනාවක් දිගු වූ යාගයක් පැවතුනා. මෙම යාගයන් හීදී මිනිසුන් දස දහස් ගණනක් මිය ගියා. මරා දැමුණා. ලේ පැහැයට කැමති ශීලයෙන් පිරිහුණු මිනිස්සු මෙවැනි යාගයන් තුලින් බලාපොරොත්තු වුයේ විමුක්තියයි.

තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ශීලයෙන් තොරව පිංවත් ඔබ බලාපොරොත්තු වන විමුක්තිය හුදු මයාවක්ම බව ඉහත සෑම යාගයකදීම හොඳින් ඔප්පු වුණා. ඉහත යුද්ධය නැමති යාගයේදී , යාග භූමියකදී ජීවිතය පූජා කළ සටන්කරුවෙකුගේ නැවත උපතක්‌ භික්ෂුවක් තම උතුම් සම්ධියේදී අරමුණු කොට බලනවා. භික්ෂුවට අරමුණු වෙන්නේ දැවැන්ත සර්පයෙකුගේ කොටසක්. එම සර්පයා භූත සර්පයෙක්. මෙම සර්පයාගේ ශරීරයේ ප්‍රමාණය හොඳින් වැඩුනු කෙසෙල් කඳක ප්‍රමාණයට සමානයි. මෙම සර්පයා මහා පොළොවට බද්ධ වෙලා ගිලිලයි සිටින්නේ. මහා පොළොවෙන් ඉහළට මෙම සර්පයාගේ කඳ කොටස ආදී තුනක පමණ මතුවී තිබෙනවා. සර්පයාගේ ශරීරයේ අග කොටස මහ පොළොවට ගිලිලයි තිබෙන්නේ. මේ සර්පයාට තියෙන්නේ කොටි මුහුණක්. ඒ කියන්නේ කොටියෙකුගේ මුහුණක් සර්ප ඇඟක් සහිත මහා පොළොවට ගිලුණු සත්වයෙක්. මේ අරුමපුදුම භූත සත්වයා පොළොවට බද්ධවෙලයි සිටින්නේ. එයට එහා මෙහා යන්න බැහැ. තම භූමිය කෙරෙහි දැඩි තෘෂ්ණාවෙන් මහා පොළොවේ අයිතිය උදෙසා මහා පොළොව මගේ යැයි උපාදානය කොට ගෙන විනාශකාරී යාගයක් කිරීමේදී රැස්කොටගත් බලවත් අකුසල් හේතුවෙන් සහ මියයන මොහොතේ භුමිය කෙරෙහි ඇතිකරගත් උපාදානය හේතුවෙන් ඔහු තෘෂ්ණාවෙන් බැඳුණ භූමිය තුළටම ගල් වූ භූත සත්වයෙක් ලෙස උපත ලබා තිබෙනවා. දැන් ඔහු පොළොවට බද්ධවෙලා පොළොව මගේ කොටගෙන වෛරයෙන් ජීවත් වෙනවා. ඔන්න විමුක්තියේ නාමයෙන් ඔහු ලැබූ උතුම් විමුක්තියේ තරම. දුශ්ශීල භාවය තුළින් විමුක්තිය සොයා යන ජාති ආගම් භේදයකින් තොරව කාටවුවද ඉහත කාරණය හොඳ පාඩමක් වෙනවා.

සතුන් බිලිදීමෙන් සිදුකරන යාගයකදී වුවද යුද්ධයේ නාමයෙන් කෙරෙන යාගයකදී වුවද මේවාට ප්‍රිය මනුෂ්‍යයින් සේම අමනුෂ්‍යයින්ද සිටිනවා. මෙම යාගයන් මෙහෙයවන මනුෂ්‍යයින්ගේ ජීවිත දුශ්ශීලභාවය නිසාම අමනුෂ්‍යයින්ගේ ග්‍රහණයට නතුවෙලයි බොහෝ විට තිබෙන්නේ. මේ අයට නිරතුරුවම ලේ පැහැයට කැමති ලේ රසයට කැමති අමනුෂ්‍ය කොටස් උපකාර කරනවා. තව තවත් විනාශකාරී තත්ත්වයන්ට ගොස් තව තවත් අකුසල් රැස්කොට සතර අපායේ තම පිරිවර ජනතාවගේ ජනගහණය, වැඩිකරගැනීමට මෙවැනි විෂම අමනුෂ්‍ය කොටස් තමා වට නිරතුරුවම සිටියදී එම මිනිසුන්ට ඵස්සය හේතුවෙන් සකස් වෙන සැම සිතක්ම අකුසල් වැඩෙන දිශාවටමයි සකස්වෙන්නේ. කූටදන්ත බ්‍රාහ්මණයාගේ යාගයට පැමිණ හිස් අතින් හැරී ගිය බමුණන් 500 දෙනාත් ඉහත අර්ථයන්ට අයත් අයමයි. තෙරුවන් සරණයාමෙන් සිල්වත් වීමෙන් තොරව කරන කුමන කටයුත්තකදී වුවද ඒවායින් සතුටු වන්නේ අකුසලයට කැමති මිත්‍යාදෘෂ්ටික බලවේගයන් පමණක්ම බව හොඳින් සිහිතබගන්න. එවැනි මිත්‍යාදෘෂ්ටික බලවේගයන්ගේ ආශිර්වාදය ඔබ බලාපොරොත්තුවන්නේ නම්, තව තවත් අකුසල් රැස්කරගැනීමේ දිශාවට එම ආශිර්වාදයන් ක්‍රියාත්මක වේවි.

භික්ෂුවක් උතුම් සමාධියෙන් පසුවෙනකොට, එම භික්ෂුවට රෞද්‍ර ප්‍රේතයෙක් දර්ශනය වෙනවා. මෙමෙ ප්‍රේතයා වයස අවුරුදු 25 ක් පමණ තරුණයෙකුගේ ස්වරූපයෙන් යුක්ත අයෙක්. කොට කලිසමක් පමණක් ඇඳ සිටි මෙමෙ ප්‍රේතයාගේ ශරීරය නිරාවරණවයි තිබුණෙ. මේ ප්‍රේතයා යුද්ධයකදී මැරුම්කාපු සන්නද්ධ තරුණයෙක්. මේ ප්‍රේතයා තම ශරීරය පුරාම හිසේ සිට දෙපතුල දක්වාම රුධිරය තවරගෙනයි සිටියේ. මේ ප්‍රේත තරුණයා රුධිරයට රුධිරයේ පැහැයට රුධිරයේ සුවඳට බොහෝම කැමැත්තක් දක්වනවා. එය ඔහුගේ පෙර ජීවිතයේ යුද්ධයේදී ඇති කරගත් වෛරය නිසාම ඇතිකරගත් විකෘතිභාවයක්. තම විරුද්ධ පාර්ශවයේ රුධිරය දැකීම සඳහා රුධිරය හැලීම සඳහා ඇතිකරගත් ද්වේශයේ ප්‍රතිඵලයයි. ඔහු තුළින් මේ දිස්වන්නේ. භික්ෂුවට මේ ප්‍රේතයා දර්ශනය වන විට ඔහු සිටියේ හරක් මස් කඩයක් අසල. එම හරක් මස් ගාත්වල තැවරී තිබෙන රුධිරය මෙම ප්‍රේතයාගේ අතේ තවරාගෙන තම ශරීරය පුරාම තවරගන්නවා. රුධිරය දැකීමට රුධිරය තවරගැනීමට දැඩි ආශාවක් මේ ප්‍රේතයාට තිබෙනවා. මොහු මස් කඩ අසල ගැවසෙමින් සතුන් මරණ යාග පොළවල්වලට ඇවිදිමින් මිනිසුන් මරණ යාග පොළවල ඇවිදිමින් සතුන්ගේ ගලායන රුධිරයෙන් තම අකුසලයේ විපාකය සංසිඳවා ගන්නවා. ඉහත කාරණයෙන් පිංවත් ඔබට හොඳින් වැටහෙනවා ඇති සතුන් මරණ සතුන්ට හිංසා කරන මිනිසුන් මරණ යාගවලදී ඒවාට ප්‍රියකරන ඒවාට ආශීර්වාද කරන ඒවා නිසා සැනසෙන විකෘති අමනුෂ්‍යයින්ගේ සැබෑම ස්වභාවය. මනුෂ්‍යයාගේ දුශ්ශීලභාවය වැඩිවෙන්න වැඩිවෙන්න ලෝකයේ යාගයන්, ඒ කියන්නේ ඝාතනයන් වැඩිවෙනවා. එවැනි ලෝකයේ මෙවැනි විකෘති අමනුෂ්‍යයින්ගේ ග්‍රහනයද සීඝ්‍රයෙන් වැඩිවෙනවා. දුශ්ශීලභාවය තුළින් පෙර ජීවිතයේදී මේ පින්වත් තරුණයා සොයා ගිය විමුක්තිය රුධිර පිපාසිත ප්‍රේත ජීවිතයකට පදනම සකස්කොට දී තිබෙනවා. වර්තමානයේදී ජාති ආගම් භේදයකින් තොරව කිනම් තරාතිරමක කෙනෙක් වුවද දුශ්ශීලභාවයෙන් යුතුව සිදුකරන යාගයන් නිසා ඉහත අකාරයේ දුක කැකෑරෙන භවයේ උපත් මරණින් මතු සකස්වීම අනිවාර්ය වනු ඇත. ලෝකය, මේ අවිහිංසාව සාමය ගැන කථා කරමින් ගාට ගාටා ඉදිරියට යන්නේ මනුෂ්‍යයා තුල මෘග සංඥාව සකස්වෙන පරිසරයක් කරාය. එදාට මේ මුළු ලෝකයම එකම යාග භූමියක් වනු ඇත. මනුෂ්‍යයා දුශ්ශීලභාවයෙන් තව තවත් ශක්තිමත් වෙන්නේ මේ අනාගත යාග භුමියේ කෲරත්වය තව තවත් තීව්‍ර කරගැනීම සඳහාමය. ඉක්මන්කරගැනීම සඳහාය.