අතහැරීම 01

පටුන

ඔබත් සොබාදහමත් අතර පරතරයක්‌ නොතබන්න

ගිහිවත කියවන්න
නිදහස් පරිසරය කියවන්න
අන්තිමයා වීම අගනේය කියවන්න
හාල්මැස්‌සාගෙනුත් කමටහනක්‌ කියවන්න
මාරයාගේ පළඳනාව කියවන්න
මාර ප්‍රතිපදාව කියවන්න
කුසගින්නද ආශිර්වාදයකි! කියවන්න
සැබෑම ප්‍රත්‍යාවේක්‍ෂාව යනු කියවන්න
අපි යන්නේ මොන පාරේ කියවන්න
ඇගේ කඳුළ ළඟ සිත නැවතුණි නම් කියවන්න
දුක්‌ දෙන මිතුරා කියවන්න
අත්වැල් බැඳගෙන පිහිනිය නොහැක කියවන්න
පිරිත් පොත කියවන්න
රැවුල සහ කණ්නාඩිය කියවන්න
පොඩි හාමුදුරුවන්ට ස්ථාවර අනාගතයක් කියවන්න

ඔබත් සොබාදහමත් අතර පරතරයක්‌ නොතබන්න

මේ මුළු ලෝක ධාතුව තුළම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස තිබෙන්නේ කොතැනද කියා ඇසුවොත් දෙවරක්‌ නොසිතා එම ප්‍රශ්නයට දිය හැකි පිළිතුර අරහත් උත්තමයකු තුළ බවයි. රහතන් වහන්සේ යනු නිදහසේ ප්‍රතිබිම්බයයි. රහතන් වහන්සේගේ සිත සුදු පිරුවටයක්‌ සේය. එහි ඉඳිකටු තුඩක තරම්වත් කිළුටක්‌ නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ සිටිමින් එම සුදු පිරුවටයේ චිත්‍ර අඳී. ඒවා ඒ මොහොතේම මැකී යයි. නැවත අඳියි. නැවත මැකී යයි. රහතන් වහන්සේ අඳින චිත්‍ර රැස්‌ කර ගන්නේවත් ගොඩගසා ගන්නේවත් නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ අඳින චිත්‍ර සඳහා පාවිච්චි කරන්නේ නිකෙලෙස්‌ තීන්තය. එහි ඝන භාවයක්‌, ගොරෝසු භාවයක්‌, ඇලීමක්‌, ගැටීමක්‌, උපේක්‌ෂාවක්‌ නොමැත. ඒවා නිවුණු තීන්තය. එහෙයින් උන්වහන්සේගේ ඇතිවෙමින් නැතිවෙන සිත නමැති පිරුවටය සැමවිටම නොකිළිටියි. කොතැනකදීවත් සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නොදකින ඒ සිත නිරතුරුව අනිත්‍යය දැක මැකී යන රූපම අඳියි. එහෙයින් උන්වහන්සේලාගේ ජීවිත සැහැල්ලුය. සරලය. පැහැදිලිය. විවෘතය. එය නිදහසේ ප්‍රතිබිම්බයයි.

ගිහි පැවිදි නිවන් මඟ වඩනා ඔබද මමද සොයා යන්නේ ඔන්න ඔය ස්‌වභාවයේ නිදහසයි. ජීවිතයේ සියලු බැඳීම් හිස්‌කළ තැන, එතැන නිදහසයි. පැවිදිවීම සඳහා ගිහි ගෙදරින් ඔබ ඉවත් වන්නේ, එතෙක්‌ තමා රැස්‌කළ අයිති කොටගත් සියලු ලෞකික සම්පත් අයින් කොට දමාය. ඔබ එසේ සියල්ල අයින්කොට දමා පැමිණෙන්නේ ඇයි? අයින්කොට පැමිණි සියල්ල අතහැරීම සඳහාය.

හොඳින් සිතන්න. අයින් කිරීමත්, අතහැරීමත් අහසයි පොළොවයි මෙන් පරතරය ඇති දෙයකි. පැවිදි වීමෙන් පසු ඔබ කළ යුත්තේ අයින් කළ දේවල් අතහැරීමට පුරුදු වීමය. පුරුදු කිරීමය. මොනවද ඔය අයින්කොට පැමිණි දේවල්.

මාපියන්, ඥතීන්, ව්‍යාපාර, ඉඩකඩම්, සමාජත්වය, කොටින්ම ඔබ මේ ඉන්ද්‍රියයන් හයට ඇලෙන දේවල් අයින්කොට දමා පැමිණ ඇත්තේ, ඒ සියල්ල අතහැරීම සඳහා ය. දැන් අරමුණ පැහැදිලිය.

එසේ නම් ඔබ සොයා යා යුත්තේ අතහැරීම පුහුණුවීමට සුදුසු රැස්‌කිරීම නොකරන ස්‌ථානයකි. මොනවා රැස්‌ නොකරන ස්‌ථානයක්‌ද?

කෙළෙස්‌ රැස්‌ නොකරන ස්‌ථානයකි.

සුවසේ සිත වැඩෙන ස්‌ථානයකි.

එවැනි ආරණ්‍යයක්‌, ශූන්‍යාගාරයක්‌ නොමැති නම් නිවන් මඟ වඩන ගුරුවරයකුගේ ඇසුර ලබා ගනිමින් හුදකෙලා කුටියකට ඔබ යා යුතුය.

ආරණ්‍ය තෘෂ්ණාව, ගෝල තෘෂ්ණාව, විනය තෘෂ්ණාව, දිව්‍ය බ්‍රහ්ම තෘෂ්ණාව, බෝධිසත්ව තෘෂ්ණාව යන තෘෂ්ණාවන්ට කොටුවුණු ස්‌ථාන මඟහරින්න. ඉහත ස්‌වභාවයන් ශාසනය රැකීමට, සුගතිගාමී නැවත උපතක්‌ ලැබීමට ඔබට උපකාර වනවා විනා, මේ ආත්ම භාවයේ දී නිවන් දැකීම උදෙසා ඔබට උපකාරී නොවේ. ඉහත ස්‌වභාවයන් ඔබ ස්‌පර්ශ කිරීමෙන් නිවන් මඟ භව මඟක්‌ බවට පත්වීමට පුළුවන. රැල්ල හමන දිශාවට ගසාගෙන යැම, තවමත් ඔබගේ ස්‌වභාවය වීමට පුළුවන. ඔබ ගිහි ගෙදර හැර ආවේ ජනප්‍රිය රැල්ල සමග ගසාගෙන යැමට නොව උඩුගංබලා පිහිනා යැමය. ඔබ අදක්‌ෂ වුවහොත් සශ්‍රීක සිව්පසය, දෙස්‌ විදෙස්‌ ගිහි පැවිදි සම්බන්ධතා, ගුරු ගෝල බැඳීම්වල අත්අඩංගුවට පැමිණීමට ඔබට සිදුවනු ඇත. ඔබ කිසිවක්‌ අල්ලා නොගන්න. අල්ලාගෙන ඇති සියල්ල ක්‍රමානුකූලව අතහැරීමට පුරුදු කරන්න. ඔබ වයසින්. ජීවිතාවබෝධයෙන් පරිපූර්ණ පුද්ගලයෙක්‌ ලෙස අරමුණක්‌ ඇතිව ශාසනයට පැමිණි කෙනෙක්‌ බව සිතන්න. එහෙත් තමා ගැන අධි තක්‌සේරුවකට නොඑන්න වගබලාගන්න.

සාමණේර ශීලය, උපසම්පදා ශීලය, ඉක්‌මවා ගිය ශීලයක්‌ මේ ශාසනය තුළ තිබෙන බව දකින්න. එම ශීලය තව කෙනකුන් ගෙන් ලැබිය හැකි දෙයක්‌ නොව, තමා විසින්ම ධර්ම විනය දෙක වැඩීමෙන් තමා තමාවම පිහිටකොට ලබාගත යුත්තක්‌ බව සිහි තබා ගන්න.

විනය යනු සුවසේ නිවන් මඟ තරණය කිරීමට ඇති මෙවලමක්‌ මිස, තමාගේ දෑත් දෙපා ස්‌ව කැමැත්තෙන් බැඳ ගන්නා වරපටක්‌ හෝ තමන්ගේ නිදහස මරා ගන්නා පෝරකයක්‌ නොවේ. ඉහළ අහසට ගුවන් යානයකින් යන ගුවන් භටයෙක්‌ නිරුපද්‍රිතව බිමට පතිත වීමට පැරෂුටයක්‌ උපයෝගී කරගන්නා සේ, විනය ඔබ සුවසේ නිවන් මඟ තරණය කිරීමට යොදා ගන්න. ගුවන් භටයා තම දෙපා පොළොවේ ස්‌පර්ශ වන සැණින් පැරෂුටය අතහැර දමනු ඇත. විනය යනු අවබෝධය ලබමින් නිවැරැදි වෙමින් අතහරින දෙයක්‌ මිස බදාගන්නා දෙයක්‌ නොවේ. වැරැදි අතහැරීමට විනය බදා ගැනීම තුළ රැස්‌වන්නේ තණ්‌හාවයි. තණ්‌හාව ඔබව රැගෙන යන්නේ නිවීම දෙසට නොව භවය කරාය. විනය තුළ මා ඇතැයිද, මා තුළ විනය ඇතැයිද ග්‍රහණය කර නොගැනීමට අප වගබලාගත යුතුය.

විනය යනු සතිය සහ සිහියයි. ධර්මය යනු ස්‌වභාවධර්මයයි. ධර්මයේ ස්‌වභාවය අනිත්‍යයයි. අනිත්‍යය දෙස සතියෙන් සහ සිහියෙන් බැලීම ධර්ම විනය දෙක තුළ ජීවත්වීමයි. විනය අත්‍යවශ්‍යය. ඒ නැවත නැවත වැරැදි කිරීමට නොවේ. වැරැදි කිරීමේ ස්‌වභාවයෙන් යුත් පෘථග්ජන සිත අවබෝධයෙන් හඳුනාගෙන වැරැදි අතහැරීමටය. විනය වෙනුවෙන් කැපවීම ඔබගේ දුර්වලතාවකි. විනය සමගින් ගැටෙමින් නොසිට ඔබගේ දුර්වලකම් සතියෙන් හෙවත් සිහියෙන් යුතුව මඟහරවා ගන්න. විනය ගැන ලියවුණු පොත් සියයක්‌ ඇතොත් ඒ පොත් සියයම එක මත එක තබා, පොත් සියයටම උඩින් “ෙච්තනාහං භික්‌ඛවේ කම්මන් වදාමි” යන බුදු බණ පදය තබන්න.

නමුත් ඔබට ඔබව විශ්වාස නැතිනම් ඔබ අදක්‌ෂ නම්, මාන්නය, උද්ධච්ච භාවය, මාර්ග ඵල උම්මාදයෙන් පෙළෙන්නේ නම් ගුරුවරයා සහ විනය තුළ හික්‌මීම අත්‍යවශ්‍ය බව සිතන්න. එසේ නොවුණහොත් ඔබ මංමුලා වනු ඇත. ඔබේ හැකියාවන් ගැන අධි තක්‌සේරුවකට නොඑන්න. තීරණ ගැනීමේදී බුද්ධිමත් වන්න. ඔබ මන්දගාමී නොවන්න. ශීඝ්‍රගාමීද නොවන්න. කාලසටහන්, පෙර සූදානම්, සැලසුම්වලින් හිස්‌වන්න. කිසිම ආයාසයක්‌ නොකරන්න. ඉරහඳ, මහපොළොව, සාගරය ආයාසයකින් තොරව ඒවායේ ස්‌වභාවයෙන් හැසිරෙන්නා සේ ඔබ ඔබේ ස්‌වභාවය තුළම නිවන් මඟ වඩන්න. ස්‌වභාව ධර්මයේම කොටසක්‌ වන්න. ස්‌වභාව ධර්මයත් ඔබත් අතර පරතරයක්‌ නොතබන්න. බැසයන සඳත්, නැඟ එන ඉරත් ඔබ ඔබේ සිතිවිලි සමග සසඳන්න. නිදහස සොයා උඩුගං බලා යන සෙබළෙක්‌ වන්න. බුදු ගුණ මෙනෙහි කිරීම නවතා ඔබ පැවිදි වූයේ ඇයිද යන්න නිරතුරුව මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කරනා වාරයක්‌ පාසා ඔබ දකින්නේ බුදුරජාණන් වහන්සේව බව අත්දැකීමෙන් දකින්න.

නිහතමානීව ඔබේ දුර්වලතා දකින්න. නිහතමානිකම යනු හීනමානය නොවේ. භික්‍ෂුව යනු මෙලොව සිටින ජවසම්පන්නව ඉලක්‌කය කරා හඹායන පුද්ගලයාම විය යුතුය. ඔහුව ඉක්‌මවීමට සමතෙක්‌ මේ තුන් ලෝකයේවත් නැත. මහ වනයේ තනිවම සරණ ඇතකු සේ ඔබ සොයන නිදහස ඔබම සොයා යා යුතුය. ඔබ යන මේ ගමනේදී රාත්‍රිය, දහවල, වැස්‌ස, ශීත, කුසගින්න නොදැනෙනු ඇත. මේ කිසිවකට ඔබව පාලනය කිරීමට නොහැකිය. මෙලොව සිටින ජවසම්පන්නම පුද්ගලයා සේ ඔබ කෙලෙස්‌ මාරයාව හඹා යනු ඇත. ඔබ සොයන නිදහස සාක්‌ෂාත් කරගත යුතුව ඇත්තේ ඔබ විසින්මය. එය දෙවියකුට බ්‍රහ්මයකුට කළ නොහැක්‌කකි. ඔහුට හැකියාව ඇත්තේ ඔබට සාධුකාර දීමය. ඔබ ඉදිරියේ ඔවුන් දෙවැනිය. මේ මුළු විශ්වයම සියුම්කොට ඔබේ දෝතට ගෙන, ඔබ මේ ලෝකයෙන් එතෙර වූ මුණිවරයෙක්‌ වන්න. ඔබට එය හැකි වන්නේ එක්‌කෝ මරණය, එක්‌කෝ නිවීම යන බරපතල තීරණය ගැනීමට සමත් වුවහොත් පමණකි. එවිට ඔබ සොයන නිදහස අර්ථවත් කරගත හැකිය.