අතහැරීම 06

පටුන

මේ දුකම කියන දහමක්‌ද? දුකෙන් මිදෙන දහමක්‌ද?

දුක සැප පෙරළෙන සංස්‌කාර කියවන්න
මට අවශ්‍ය වූයේ බුදුරජාණන් වහන්සේව තෘප්තිමත් කිරීම පමණි කියවන්න
පිංවත් ඔබත් මෙතැනට එන්න කියවන්න
මේ මුළු ලෝකයම ඔහුට කමටහනක්‌ වූ මෙවලමකි කියවන්න
ඔබ ඔය සුරතල් කරන්නේ සතර අපායයි කියවන්න
මේ දුකම දැයි සිහියෙන් බලන්න කියවන්න
ආදීනව නොපෙනෙන ආශ්වාදයද ආදරය? කියවන්න
මරණ බියෙන් තොර මරණයක්‌ උදෙසා කියවන්න
ගුරුකමේ රඟ කියවන්න
ප්‍රේතානුස්‌සතියද? දේවතානුස්‌සතියද? කියවන්න
තවත් පුතුන් කුමට පතන් කියවන්න
පොඩි කමට කළත් ‘පව’ පොඩි නැත පුතුනේ කියවන්න
ප්‍රඥාවේ පහන් සිළෙන් රැයෙහි අඳුර දුරුකරන්න කියවන්න
ශීලය සැබැවින්ම කුමක්‌ උදෙසාද? කියවන්න
වන්දනාවක සැඟවුණු රහස කියවන්න
මේ අකුසලයට පොළී වෙන ලෝකයයි කියවන්න
පොඩි දෙයක්‌ ආහාරයට ගන්න ලොකු දෙයක්‌ දන්දෙන්න කියවන්න
පව පහුරුගාමින් නොසිට කුසල නිධිය මතුකරගන්න කියවන්න
ඔබ ඔය ඊර්ෂ්‍යා කරන්නේ සංස්‌කාරවලට බව දැනගන්න කියවන්න
ඔබ විනෝදය ලෙස දකින්නේ තෘෂ්ණාවේ ගින්දරයි! කියවන්න
ඔබේ භෂ්මාවශේෂ පූජනීයත්වයට පත්කරන්න කියවන්න
අහසට පොළොවට දෙස්‌ දී කුමකට? කියවන්න
ඔබේ ඔය මහන්සිය හිස්‌ අතින් මැරෙන්නද? කියවන්න
ස්‌ථාවර සාමයක්‌ උදෙසා කියවන්න
ඇයි ඔබ පිංවන්ත නැතිද? කියවන්න

මේ දුකම කියන දහමක්‌ද? දුකෙන් මිදෙන දහමක්‌ද?

ධර්මයට අනුව පිංවත් ඔබ නිවැරදිවෙන්න. ධර්මය පිංවත් ඔබට නිරතුරුවම කථාකරන්නේ වඩාත් සැපයකට බවට ඔසවා තබන්න. ඒ ශීලය, දානය, ශ්‍රද්ධාව නැමැති සැපයේ උපාදානය ඔස්‌සේ ක්‍රමානුකූලව ඔබව ‘පංච උපාදනස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීම’ කියන අවබෝධයට යොමු කිරීම පිණිසයි. සද්ධර්මය කොතැනින් ගත්තත් හේතුඵල ධර්මයන්මයි සකස්‌කර දෙන්නේ. ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ශීලය, දානය නැමැති ධර්මතාවයන් ඔබේ ජීවිතය තුළින් අවංකවම ක්‍රියාත්මක කරනකොට එම හේතූන්ගේ ශක්‌තිමත්භාවය විසින්ම පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය ඔබ තුළින් වැඩෙනවා. පිංවත් ඔබ සියල්ලටම පෙර පංච උපාදනස්‌කන්ධයේ අනිත්‍යභාවය වැඩීමට යන්න එපා. මෙය මාර්ගයක්‌. එහි මුල මැද අග වශයෙන් ක්‍රමාණුකූලව පෙරට යා යුතුයි. ඔබ ඉක්‌මන් වුණොත් ධර්මය කෙරෙහි කලකිරේවී. එසේ නැතහොත් නොයෙක්‌ දෘෂ්ඨී මතවාදවල සිරකරුවෙක්‌ වේවි. ඔබ සැප ලබන්නට කැමැතිනම් මුළින්ම ‘සැපය’ කියන කාරණය හොඳින් සිහිනුවණින් හඳුනාගන්න. විශේෂයෙන් තරුණ පිංවතුන් පිංවතියන් මොකක්‌ද ‘සැපය’ කියලා උපාදානය කරගෙන සිටින්නේ. ඔබ ඔය ‘සැපය’ යෑයි අල්ලාගෙන සිටින්නේ ලෝකයේ සැබෑම සැපය සමග සසඳා බලනකොට ඉතාමත් ප්‍රාථමික සැපයක්‌. ලෝකයේ සත්වයා අත්විඳින සැබෑම සැපය යම්දවසක ඔය ඇස්‌වලින් දැක්‌කොත් ඔබ සිතාවී සැබැවින්ම ඔබ ඇස්‌ ඇති අන්ධයෙක්‌ කියලා. පිංවත් ඔබ උදාහරණයකට මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත්වෙන හොඳම රූප සුන්දරිය ගන්නකෝ. රූපවාහීනි කැමරා සිය ගණනකින් ලෝකයාට පෙන්වන ඇයගේ සුරූපී රූපය ගන්නකෝ. පිංවතුනි, දිව්‍ය ලෝකවල ඉන්නේ දෙවියන් දිව්‍යාංගනාවන් විතරක්‌ නෙමෙයි. දිව්‍ය තිරිසන් සතුනුත් ඉන්නවා. දිව්‍යලෝකයේ උපත ලද දිව්‍ය අජානීය අශ්වයන් සිටිනවා. භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවන විට දිව්‍ය තලයක දිව්‍ය අජානීය අශ්ව විමානයක්‌ දර්ශනය වෙනවා. දිව්‍ය අජානීය අශ්වයන් හතරදෙනෙක්‌ එහි සිටියා. එම දිව්‍ය අශ්වයකුගේ උස අඩි 7ක්‌ පමණ ඇති. දිව්‍ය අශ්වයාගේ වර්ණය තනිකරම මනුෂ්‍ය ලෝකයේ සිටින මොනරකුගේ වෛවර්ණ පැහැයට සමානයි. කොළ, නිල් පැහැයන්ගෙන් අලංකෘතයි. ඔබ සිතන්න, මොනර පිල් කළඹ විසිපහක්‌ පමණ එකතු කරලා මිටියක්‌ බැන්දා කියලා. අන්න ඒ ප්‍රමාණයේ, හැඩයේ වල්ගයක්‌ දිව්‍ය අශ්වයාට තිබෙනවා. එම වලිගය මුලින් පිට උඩ අතට නෙරලා තමයි පහළට වැටෙන ස්‌වභාවයෙන් තිබෙන්නේ. එය බොහොම ගාම්භීර පෞරුෂයක්‌ තිබෙන වල්ග පිහිටීමක්‌. එම දිව්‍ය අශ්වයාගේ පිට උඩ කොඳු නාරටිය දිගටම අඩියක්‌ පමණ දිග රෝම මොනර පිල් පැහැයට පහතට වැටී තිබෙනවා. මෙම අශ්වයින් ආයුෂ, වර්ණ, සැප බලයෙන් අනූන දිව්‍ය අශ්වයන්. පිංවතුනේ භික්‍ෂුව සමග විරසක වෙන්න එපා. පිංවත් ඔබට ධර්ම මාර්ගයේ සැබෑ සැපය ගැන කියන්නයි මෙය සටහන් කරන්නේ. පිංවත් ඔබ සැපැයි කියා අල්ලාගන්නා රූප සුන්දරියගේ රූපශ්‍රීයට වඩා අසිරිමත් සුන්දරත්වයක්‌. ඒ දිව්‍ය අජානීය අශ්වයා තුළත් තිබේ නම්…..

මේ දිව්‍ය ලෝකයේ තිරිසන් සතෙක්‌ ගැනයි කථා කළේ. දිව්‍ය ලෝකයේ තිරිසන් දිව්‍ය සත්වයාත් මනුෂ්‍ය ලෝකයේ අපට වඩා රූපශ්‍රීයෙන් ඉහළින් සිටිනවා. ඒත් පිංවත් ඔබ ලැඡ්ජාවෙන්න එපා. ඔබත් සැබැවින්ම පිංවත්. ඔබට ඔය රූපය ලැබුණේ පෙර පින නිසාමයි. නමුත් ඔබ ඔය රූපයෙන් මත්නොවී ධර්මය සිතන්න දක්‍ෂ වෙන්න. ‘අර දිව්‍ය අශ්වයා මට වඩා ලස්‌සනයි’ කියලා. එතකොට ඔබට පුළුවන්, නිතරම කිලුටු වෙන, නිතරම සෝදන, මේ රූපය ගැන කලකිරිලා, සැබැවින්ම කාලයකට කිලුටු නොවෙන, වඩාත් ලස්‌සන දිව්‍ය රූපයක්‌ කෙරෙහි උපාදානය සකස්‌ කරගන්න. අවංකවම ඔබට එහෙම අවශ්‍යනම් ඔබේ රූපයේ ජරා, ව්‍යාධි, මරණ වසාදමන රූපලාවන්‍යාගාරයෙන්, බාබර් සාප්පුවෙන් මිදිලා ශ්‍රද්ධා, ශීල, දානය නැමැති සැබැවින්ම ඔබව වර්ණවත් කරන මාර්ගයේ මුල් අදියරට එන්න. එතැනදී තරුණ ගිහි පිංවතුන්ලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සෑබෑ සැපය කෙරෙහි විශ්වාසයක්‌, දැකීමක්‌ ඇති වෙනවා. තමා සිටින්නේ මුලාවක බව දැනෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාවේ බීජය ඔබ තුළ සකස්‌ වෙනවා. මුළින්ම හිමින් සීරුවේ ඔතනට එන්න. ශ්‍රද්ධාව තමයි මෙලොව ශ්‍රේෂ්ඨතම ධනය. ඒ ශ්‍රේෂ්ඨ ධනයේ හිමිකාරිත්වය ලබාගන්න. එවිට නිතැනින්ම හේතුඵල ධර්මයන්ට අනුව සැප ලැබීමේ සැබෑම මාර්ගය ඔබ සොයාගෙන යාවි.

පිංවත් ඔබට සැබෑ සැපය ගැන අවබෝධයක්‌ ලැබීම පිණිස, එය ධර්ම මාර්ගය පටන් ගැනීමේ ගමනට අයෝමය ශක්‌තියක්‌වීම පිණිස, මේ ලෝක ධාතුව තුළ වෙසෙන වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, රූපයෙන් ආඪ්‍ය කාන්තාව ගැන සඳහනක්‌ තබනවා. මේ රූපශ්‍රීයෙන් බබලන නන් විසිතුරු මුතු, මැණික්‌, රන් ආභරණවල වටිනාකම දකිනවිට පිංවත් ඔබට සිතේවි ඔබේ ඔය ඩෙනිම් කලිසම, කොන්ඩ මෝස්‌තරය, ඉමිටේෂන් කරාබු, මාල වළලු, රනින් සෑදූ ආභරණ මොනතරම් අඩු ලංසුවේ නොවටිනා දේවල් ද කියලා. ඔබ සැපයි කියලා විශ්වාස කරන සැපයත්, ලස්‌සනත්, ලොව්තුරා ධර්මය තුළින් ගිහිපිංවතුන්ලා ඔසවා තබන සැබෑ සැපයත් අතර පරතරය ඔබ හොඳින් අත්දකින්න. ඔබ ඉහත ඇඳුම් ආභරණ අයිතිකරගන්න මොනතරම් රැකීරක්‌ෂා ව්‍යාපාර කරලා මුදල් හම්බකරගන්න දුක්‌විඳින්න ඕනද? පවුමක රන්මාලයක්‌ ගන්න වර්තමානයේ තරුණයකුට, තරුණියෙකුට මොනතරම් ශ්‍රමය වගුරවන්න ඕනෙද? ඊට අවශ්‍ය මුදල් හම්බකරගන්න, වර්තමාන සමාජයේ ඒවා ආරක්‍ෂා කරගන්න මොනතරම් වෙහෙසක්‌ ගන්න ඕනෙද? රන් මාලයක්‌ දමාගෙන අද බියකින් තොරව මහපාරක යන්න පුළුවන්ද? ඔබ සැපය කියලා කියන්නේ ඔය කරදර පීඩා රැසක්‌ රැඳුණු දුකට නේද?

නමුත් ධර්මයේ ගිහි පිංවතුන්ලාට දේශනා කරන සැපය තුළ ඇති ශ්‍රේෂ්ඨම ලෞකික සැපය ලබන කාන්තාව මනුෂ්‍ය කාන්තාවක්‌ නොව දිව්‍ය කාන්තාවකි. ඇය අන් කවුරුත් නොව මුළු දිව්‍යතලයන්ටම අධිපති ශක්‍ර දෙවියන්ගේ අගබිසව සුජම්පතී දිව්‍යාංගනාවයි. ඇය වැනි අසිරිමත් සැපයෙන් ආඪ්‍ය දිව්‍යාංගනාවක්‌ දිව්‍යතලයක තවත් සිටිය නොහැකිය. මේ සුජම්පතී දිව්‍යාංගනාව සමාධියේ ඇසින් දුටු භික්‍ෂුවක්‌ ඇයගේ රූපශ්‍රීය පහත ආකාරයට දක්‌වන ලදි.

භික්‍ෂුවට සමාධියෙන් ඇය දර්ශනය වෙද්දී ඇය අඩි 6ක්‌ පමණ උස දිව්‍යාංගනාවකි. ඉන්දියානු නාට්‍යංගනාවක්‌ සාරිය අඳින ආකාරයේ මෝස්‌තරයට සාරියක්‌ ඇය පැළ දගෙන සිටියාය. එම සාරිය නිල්, කොළ, දම්, අළු පැහැයෙන් යුත් වර්ණවලින් මිශ්‍රව දිලිසෙන ස්‌වභායේ සාරියකි. වැලමිට අසලට අත දිග ඉහත වර්ණවලින් සමන්විත හැට්‌ටයක්‌ ඇය ඇඳ සිටියාය. මෙම සාරියේ සහ හැට්‌ටයේ එකම තැන ඉහත වර්ණ මිශ්‍රවීමකින් දැකිය හැකිය. සාරියත් හැට්‌ටයත් අතරින් ශරීරය බාහිරට කොතැනකවත් නිරාවරණය වී නොමැත. ඇය සාරියට උඩින් අඟල් හතරක්‌ පමණ පළල බඳපටියක්‌ පැළඳගෙන ඇත. බඳපටියේ ඉදිරිපස දිදුලන මැණිකකින් සාදන ලද රවුම් හැඩයේ ආභරණයකි. බඳ පටිය වටේටද මුතුමැණික්‌ ඔබ්බවා ඇත. ඇයගේ හිසකෙස්‌ වැටිය දණහිස දක්‌වා දිගය. එය හොඳින් ගොතා පහළට දමා තිබිණ. හිසේ, උසින් අඩු ඔටුන්නකි. එය අතේ පළඳින පේරස්‌ මුද්දේ හැඩයට තැනූ සුදු මැණික්‌ එබ්බවූ ඔටුන්නකි. ඇගේ ගෙල මාල හතක්‌, දහයක්‌ අතර ගණනක්‌ ඇත. මේ සෑම මාලයක්‌ම ඇයගේ කලවා ප්‍රදේශයට දිගය. මේ සෑම මාලයක්‌ම ඉහත සියුම් මුතුමැණික්‌ සහ රනින් ගෙත්තම් කර ඇත. මේ මාල සියල්ල අතර එක සුවිශේෂ වූ මාලයක්‌ ඇත. එය එතුමියගේ නාබිය ප්‍රදේශයට දිගැති මාලයකි. එහි අග සුදු පැහැති දොඩම් ගෙඩියක ප්‍රමාණයේ මැණිකකි. එම මැණිකෙන් වොට්‌ 100 ක ප්‍රමාණයේ බල්බයකින් නිකුත් වන ආලෝකධාරාවක්‌ නිකුත් වේ. කොටින්ම ඇය දීප්තිමත් දැල්වෙන බල්බයක්‌ ගෙල එල්ලාගත් දිව්‍යාංගනාවක්‌ සේය. නමුත් එම ආලෝකය විහිදෙන්නේ ඇගේ ගෙල බැඳි මාලයක ඇති සුදු පැහැති මැණිකකිනි. ඇය මේසා ආභරණින් රූපශ්‍රීයෙන් අග රැජිනක්‌ වුවද ඇය නිරහංකාර තැන්පත් ගති ඇති පෞරුෂයෙන් පිරීගිය දිව්‍යාංගනාවකි. සමහර දිව්‍යාංගනාවන්ගේ ඇති කෙළිලොල් බව, රූපශ්‍රීයේ ඇති රිද්මය, ලාලිත්‍යය වැනි දඟකාර චරිත ලක්‍ෂණ ඇයට නැත. ඇය තැන්පත් මහේශාඛ්‍ය දෙව් දුවකි.

පිංවත් ඔබ ඉහත සටහන පිළිගත්තද නොපිළිගත්තද එය මේ ලෝකයේ ධර්මය තුළින් ගිහිපිංවතුන්ලාට ලැබිය හැකි සැබෑම සැපය පිළිබඳව මනස අවදිකරවන අත්දැකීමකි. භික්‍ෂුව පිංවත් ඔබට එසේ සඳහන් කළද මේ නිමේෂයේත් ඒ සුන්දර සුජම්පති දෙව් දුවගේ රූපය භික්‍ෂුව දකින්නේ ඇට සැකිල්ලක්‌ කොටය. ධර්මයේ සැබෑ අර්ථය එතැනය. එහෙත් පිංවත් ඔබ කලබල විය යුතු නැත. මේ අතිසුන්දර දිව්‍යාංගනාවට ඉහත සශ්‍රිකභාවය ලැබුණේ මහන්සිවෙලා රැකීරක්‍ෂා, ව්‍යාපාර කරලා නොවේ. අම්මා, තාත්තා, ස්‌වාමිපුරුෂයාගේ දෑවැද්දට නොවේ. මේ සියලු සම්පත් ඇයට ලැබුණේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගිහි පිංවතුන්ලාට ඇඟිල්ල දිගුකර පෙන්වන ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුළින්ය. ශ්‍රද්ධාව, ශීලය, දානය, දේවතානුස්‌සතිය ඉහත සැපය ඔබට පෙන්වන මාර්ගයයි. පිංවත් ඔබ ඉන් බැහැරව බොරුවට මොනතරම් දඟලනවාද තුට්‌ටුදෙකේ සැපයක්‌ සොයන්න.

බලන්නකෝ මොනතරම් අසිරිමත් සැපයකටද බුදුරජාණන් වහන්සේ ඔබලාට පාර පෙන්වන්නේ. ඇයි අපි ‘ධර්මය දුක ගැන, මරණය ගැන, අනිත්‍ය ගැන පමණක්‌මයි කියන්නේ’ කියලා ධර්මයෙන් ඈතට යන්නේ. ධර්මය කෙරෙහි කලකිරෙන්නේ. පිංවත් ඔබ සැපය හැටියට දකින අවුරුදු 10 ක පමණ නවයොවුන් තරුණ කාලයක්‌ තිබී ජරා, ව්‍යාධි, මරණයන්ට පත්වන ඔය “දුක” ලස්‌සන රූපය කෙරෙහි ඇති කැමැත්තෙන් මිදී “සැප” ලස්‌සන රූපයක හිමිකාරිත්වය ලබාගැනීමට ඔබත් කැමතිවෙන්න මුලින්ම.

එක පිංවත් පවුලක මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් ඇසුවා ‘හාමුදුරුවනේ අපි ශීලය ගැනම සිතමින්, අනිත්‍ය සංඥාව දකිමින්ම ජීවත් වුණොත් අපේ දරු පවුලට සහ කලදසාව, ඒ ගොල්ලන්ගේ අනාගතය අඳුරු වෙනවා නේද කියලා. බලන්න ඒ මහත්මයා ධර්මය මොනතරම් වැරදි අන්තයකින් ද අල්ලාගෙන ඉන්නෙ කියළා. තමන් ජීවත්වීමට නොදන්නාකමින් ඇතිවන ආදීනව ධර්මයේ ගිණුමට බැරකරනවා. ශ්‍රද්ධාව අඩුකම, විචිකිච්චාවෙන් සිතුවිලි. පිරිලා, පංචනීවරණයන්ගෙන් සිත වැඩිලා. ඒ මහත්මයා ශීලය ගැන අනිත්‍යය ගැන කතා කළත්, අවම වශයෙන් ශීලය තුළවත් ඔහු නැතිය කියන එක ඉහත කාරණයන්ගෙන් පැහැදිලි වෙනවා. සෑම පවුලකටම ආදායමක්‌ වියදමක්‌ කියන කාරණයක්‌ තිබෙනවා. කොතෙක්‌ ආදායම් ලැබුවත් වියදම ඊට වැඩිනම් ජීවන ප්‍රශ්න ඇතිවීම අනිවාර්යයි. මෙය ධර්මයේ වරදක්‌, ශීලයේ, අනිත්‍ය සංඥාවේ වරදක්‌ නොවේ. එම මහත්මයා ලැබීමේ තරමට වියදම් කිරීමට නොදන්නා කමේ වරදයි. නමුත් අශ්‍රද්ධාව නිසා එම වරද පටවන්නේත් ධර්මයට. මුළිsන්ම පිංවත් ඔබ අවංක වෙන්න, ධර්මයෙන් තොරව ජීවත් වෙමින් ඔබ විඳින දුක නුවනින් දකින්න. දුක දකින කෙනායි සැප ඇති මාර්ගයට අවතීර්ණ වෙන්නේ. දුකය කියමින් ධර්මයට ඔබ ද්වේශ කළොත්, සැක කළොත් ඔබට අහිමිවන්නේ සැබෑම සැපයයි.

අවංකව ධර්ම මාර්ගයේ ගමන් කරන කිසිම කෙනෙකුට ‘මට වැරදුනාය’ කියල කියන්න තැනක්‌ නැහැ. අතීත අකුසල් සංස්‌කාර හේතුවෙන් යම් තැනකදී වැරදුනොත් එය හේතුඵල ධර්මයන්ට අනුව ජයග්‍රාහීව ජීවිතයට ගලපාගන්නවා. මෙය තමයි ශ්‍රද්ධාව නැමති පරම ධනයේ ලක්‍ෂණය. මෙන්න මේ ධනයේ හිමිකාරීත්වය මුලින්ම ඔබට ලබාගැනීම සඳහාමයි මේ සටහන තැබුවේ. මේ ධනයේ හිමිකාරීත්වය මුලින්ම ඔබ අයිතිකරගන්න. එවිට රුපියල්, ශත ඔබේ ජීවිතයේ දෙවැනි තැනට වැටේවි. ශ්‍රද්ධාව ඇති පුද්ගලයාට ජීවිතය කියන කාරණයේදීත් මරණය කියන කාරණයේදීත් ජයග්‍රාහී අවසානයක්‌මයි ලැබෙන්නේ. එම නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය දුක ගැන කථාකරන දහමක්‌ නොව දුක අභිබවා සැප අයිතිකරගන්නා දහමක්‌. අවශ්‍යනම් දුකත් සැපත් දෙකින්ම මිදීයන දහමක්‌.